(චමිල් රූපසිංහ)
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ වසර 2019 සඳහා වන අයවැය සභා අනුමැතිය සඳහා දෙවන වර අද (31) ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩි ඡන්දයකින් අයවැය සම්මත විය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 20 දෙනා අයවැයට පක්ෂවද ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 03 දෙනා අයවැයට විපක්ෂවද ඡන්දය පාවිච්චි කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා සභාවට පැමිණ නොසිටීයහ.
මහනුවර මහ නගර සභාවේ අයවැය ප්‍රථම වර ඉදිරිපත් කළ අවස්ථාවේ අයවැයට පක්ෂව ඡන්ද 20 ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 21 ක් ලැබීම නිසා එය එක් ඡන්දයකින් පරාජයට පත්විය.
දෙවන වර අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්ව අයවැයට විපක්ෂව ඡන්දය දුන්නද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා මෙදින සභාවට නොපැමිණ සිටීම නිසා එම ඡන්ද දෙකේ වාසියෙන් එක්සත් ජාතික පක්ෂයට මහනුවර මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකිවිය.