මහනුවර දුම්රිය මඟේ පිහිටි වැහිලිහිණි කූඩුවලට සංචාරකයින්ගෙන් හානි


 

(ඉන්දික අරුණ කුමාර)

 

මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී හමුවන මීයන් ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් හේතුවෙන් බිම්ගෙයි ඇති වැහිලිහිණි කූඩුවලට හානි සිදුවෙමින් පවතින බව දේශීය වනාන්තර සුරැකිමේ සංගමය කියයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සංගමයේ සභාපති අතීක් නසීර් මහතා මේ බව සදහන් කර තිබේ. පහ - ඒ නැමැති මෙම දුම්රිය උමං මගේ වැහිලිහිණි කූඩු වැඩි වශයෙන් පිහිටා ඇත.

බ්‍රිතාන්‍ය සමයේ දී ඉදිකර ඇති මෙම දුම්රිය උමං මඟ හරහා මියන් ඇල්ල නැරඹීමට පැමිණෙන ඇතැම් පුද්ගලයින් උමං මගේ පිහිටි වැහිලිහිණි කූඩු වලට හානිකර ඇති බව දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

ඇතැම් සංචාරකයින් විසින් විදුලි පහන් වැහිලිහිණි කුඩූ වලට එල්ල කරමින් වැහිලිහිණින්ට හිරිහැර කරන බවත් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් සභාපති අතීක් නසිර් සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

වනසත්ත්ව හා රැක්ෂලතා  ආරක්ෂණ පනත ප්‍රකාර වැහිලිහිණියා මෙරට ආරක්ෂක පක්ෂි විශේෂයක් බවත් එම සතුන්ට සිදුවන විවිධ හිරිහැර සම්බන්ධයෙන්  බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.