මහ වැස්සෙන් හම්බන්තොටට පීඩා


(සනත් ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ  පවතින  අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග හා පහත්බිම්  රැසක්  වැසි ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්ෂ නලින් බෙන්තර ආරච්චි මහතා පැවසීය.
 
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත ප්‍රදේශයේ ද මාර්ගයේ අඩි 2 ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා පවතී. එම ස්ථානයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී ඇත.

සෑම වසරකම මෙම ස්ථානයේ අධික වැස්ස ඇතිවන විට  වැසි ජලයෙන් මාර්ගය හා නිවාස යටවන බව නිවෙස් හිමියෝ පවසති. ප්‍රධාන මාර්ගයේ  ජලය බැස යෑමට ඇති බෝක්කුව ප්‍රමාණවත්  නොවීම  හේතුවෙන් මෙම ජල කඳ මාර්ගය හරහා ගලා යෑම හා නිවෙස් වන බව ජනතාව පවසති. 

හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක්  වැසි ජලයෙන් යටවී  ඇති අතර , අම්බලන්තොට රිදියගම, බැරගම, යන ප්‍රදේශ වල වැසි ජලය එක් රැස්වීම හේතුවෙන්  පහත් බිම් යටවී ඇත.

අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේ ද ගසක් කඩා වැටීමෙන් අතුරු මාර්ගයක් අවහිර වී ඇති බවත්. එම අවහිරතාවය ඉවත් කිරීමට කටයුතු කල බවද සහකාර අධ්‍යක්ෂ වරයා කිය.
 
පවතින වැසි හේතුවෙන් තවදුරටත් කුඹුරු වල පැසුණූ ගොයම් කපා ගැනීමට ගොවීන්ට හැකියාවක් වී නොමැත.