මහ කන්නයේ වී මිලදී ගැනීමට මිලියන 6100ක් වෙන්කෙරේ


(හසිත රංග ගුණතිලක)       

                           
මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු හා පශු සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
 
මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම පිළිබඳ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අද(23) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
 
අනුරාධපුර, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල මේ වනවිටත් අස්වැන්න නෙළමින් පවතින අතර රජය විසින් ගොවීන්ගෙන් වී කිලෝවක් සඳහා නාඩු රුපියල් 38කටද සම්බා රුපියල් 41කටද මිලදී ගැනීමට තීරණය කර ඇති බවද හැරිසන් මහතා කීය.
 
එක් ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 2000ක් පමණ මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර ගොවීන්ගෙන් මිලදීගන්නා වී ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් විධිමත් කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට පැවසීය.