මන්නාරමෙන් කහ කිලෝ 90ක් නුවරට ගෙනයද්දී අල්ලයි


(රොමේෂ් මධුෂංඛ)

කහ කැබලි කිලෝ 30 ක් සහ කහ කුඩු කිලෝ 60 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි  දෙදෙනෙකු අද (27) මන්නාරම පාලම අසළ දී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පැවසීය.
 
අත්අඩංගුවට පත් සැකකරුවෝ මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
යුද හමුදාවේ 54 වන සේනාංකයේ සෙබළු පිරිසක් ලොරි රථය පරීක්ෂා කර ඇති අතර එහිදී ලොරියේ සූක්ෂමව සඟවා තිබූ කහ තොගය සිය බාරයට ගත්හ.
 
කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් නුවරට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවට සැකකරුවන් පාපෝච්චාරණය කර ඇතැයි යුද හමුදාව කීය.
 
සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීමට මන්නාරම් පොලීසියට භාරදීමට කටයුතු කළ බවට යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.