සිතුම් චතුරංග
සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ වලිකාමම්, නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන ඉලංගනාදන් සෙන්දූරන් මහතාගේ සිරුර යාපනය, තොණ්ඩමන්ආරු, මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය කියයි.
ප්‍රදේශවාසියකු විසින් නාදුනන මළසිරුරක් මුහුදේ පාවෙන බවට කළ දැණුම්දීමකට අනුව වැල්වැටිතුරෙයි පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිරුර අදාල මන්ත්‍රීවරයාගේ බවට හදුනාගත් බව පොලිසිය සඳහන් කළේය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අතුරුදන්ව ඇති බවට ඥාතීන් ඉකුත්දා(24) සවස වැල්වැටිතුරෙයි පොලිසිය වෙත පැමිණිලි කොට ඇති අතර පසුව පොලිසිය විසින් කළ පරීක්ෂා කිරීමකදී අතුරුදන්වු මන්ත්‍රීවරයාගේ යතුරුපැදිය, ජංගම දුරකථනය හා ජාතික හැදුනුම්පත තොණ්ඩමන්ආරු, මයිලන්තනෙයි හින්දු සුසාන භූමිය අසළ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණ.
කිසියම් කාරණාවකට කිසිවෙකුටත් නොපවසා මන්ත්‍රීවරයා නිවසින් බැහැරව සිටි බවට අනාවරණයවූ බවද පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ හමුවු මළ සිරුර අතුරුදන්වු පුද්ගලයාගේ බවට ඥාතීන් විසින් හදුනාගෙන ඇති අතර ඒ අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවත්ය.
මුහුදේ පාවෙමින් තිබූ මන්ත්‍රීවරයාගේ සිරුරේ කිසිදු තුවාලයක් හෝ වෙනත් කිසිදු හානියක් පරීක්ෂා කිරීම් වලදී හමුනොවී ඇති බවත් මෙම මරණය සියදිවි නසාගැනීමක්ද නැතිනම් වෙනත් කාරනාවක්ද යන්න තවදුරටත් විමර්ශන සිදුකරන බවද කීය.
සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.
වැල්වැටිතුරෙයි පොලිසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මන්ත්‍රී ඉලංගනාදන් සෙන්දූරන්ගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගනී
Recommended Articles