මධ්‍යම පළාතේ ශිෂ්‍යත්වය තහනම් කරන බව ආණ්ඩුකාරවරයා කියයි


(කාංචන කුමාර ආරියදාස)
 
 
මධ්‍යම පළාත තුළ ඉදිරියේ දී 5 වසර ශිෂ්‍යත්ව විභාගය තහනම් කර  දැමීමට කටයුතු කරන බවත් පාසල්වල දරුවන් 100 ට අඩුවෙන් පවත්වා ගෙන යන විදුහල්පතිවරුන්ට  ස්ථානමාරු ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.

මධ්‍යම පළාත තුළ පවතින ගුරු සහ පාසල් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ පැවසීය.

මාස දෙකක් ඇතුළත පාසල්වල ගැටළු පිළිබඳව සොයා බලා පාසලක සිසු සිසුවියන් 100 ට වඩා අඩු වන්නේ නම් එම විදුහල්පතිවරුන්ට කිසිදු සමාවකින් තොරව ස්ථානමාරු  ක්‍රියාත්මක කරන බවත් පාසල්වල දරුවන් ඇතුළත් කර ගැනීමේ වර්ධනයක් ඇතිකර ගන්නා පාසල්වල විදුහල්පතිවරුන්ට එම පාසල්වලම රැඳී සිටීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී දෙමව්පියන්ට සහ සිසු සිසුවියන්ට  කරදරයක් බවට පත්ව ඇති පහ වසර ශිශ්‍යත්ව විභාගය මධ්‍යම පළාතේ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එහි අත් හැදීමක් ලෙස නගරාන්තර පාසල්වල  ශිෂ්‍යත්ව විභාග නොපවත්වා ඊට ආදේශ ඉංග්‍රීසි භාෂාව  කතාකරන, ප්‍රගුණ කරන විභාගයක් පැවැත්වීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

5 වසර ශිෂ්‍යත්වය තේරුමක් නොමැති විභාගයක් බවත් එයින් ළමයි පරාජිතයන් බවට පත්වන බවද ඇතැම් දරුවන් අදක්ෂයන් බවට පත්වෙන බවත් හෙතෙම සඳහන් කළේය.