මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට


(සිතුම් චතුරංග)

           

කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කේරළ ගංජා කිලෝ එකයි  150ක්, හෙරොයින් මිලිග්‍රෑම් 170 හා මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගත් රුපියල් 308,000 ක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසූයේ හෙරොයින් සමඟ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ප්‍රධාන ජාවාරම්කරු පිළිබඳ තොරතරු අනාවරණය වූ බවයි.

ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ යතුරුපැදියේ අසුන යට තිබී මුදල් හා කේරළ ගංජා සොයා ගත් බව පොලිසිය පවසයි.

එක් සැකකරුවකු මුලතිව්,වැලිඔය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිලිනොච්චිය භාරතීපුරම් හා මුලතිව්, වැලිඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ත් 32ත් අතර වයසේ පසුවන්නෝ වෙති.