මත්තෙගොඩ අනතුරකින් 4 ක් රෝහලේ


(ශාන්ත ප්‍රදීප්  කුමාර  කුලරත්න)

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී  සිදු වූ අනතුරින් වයස අවුරුදු 7ක පාසල් සිසුවියක ඇතුළු සිව්දෙනකු තුවාල ලබා අද(06)  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තේගොඩ පොලිසිය පවසයි.

එකම පවුලේ මව පියා සහ දියණිය  ත්‍රිරෝද රථයක යමින් සිටියදී මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ජල ටැංකිය ඉදිරිපිට දී මාර්ගය හරහා ගමන් කළ සුනඛයකු බේරීමට ත්‍රිරෝද රථය වම්පසට හරවනවාත් සමගම ඉදිරියෙන් පැමිණි යතුරු පැදියෙහි ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

අනතුරින් පසුව අවස්ථා තුනකදී ත්‍රිරෝද රථය මාර්ගය හරහා පෙරළී ගොස් යාබද වෙළඳසැලක් ඉදිරිපිටදී නැවතී ඇති  අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ පැමිණි මව පියා සහ සිසුවිය  තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාව බරපතළ තුවාල ලබා  ඇති අතර සෙසු අයගේ තත්ත්වය සාමාන්‍ය බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරින්  ත්‍රිරෝද රථයේ හා  යතුරුපැදියේ ඉදිරිපස කොටස්වලට බරපතල හානි සිදුව තිබූ බවද පැවසේ.

මත්තේගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.