මත් පෙති අලෙවි කළ වෛද්‍යවරයා රිමාන්ඩ්


(ආනන්ද ඉ. ජයකොඩි)

අත්තනගල්ල මීරිගම ඇතුළු ප‍්‍රදේශ ගණනාවක පාසල් දරුවන්ට මත් පෙති බෙදා හැරීම කළ බව කියන වෛද්‍යවරයෙකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (16) අත්තනගල්ල මහේස්ත‍්‍රාත් තරංගා රාජපක්‍ෂ මහත්මිය නියෝග කළාය.

නිට්ටඹුව වීරසූරියකන්ද ප‍්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ග මීරිගම පමුණුවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාරියවසම් අතුකෝරලලාගේ දොන් පීටර් හයිසින්ත් නමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

අත්තනගල්ල මීරිගම ඇතුළු ප‍්‍රදේශ ගණනාවක පාසල් දරුවන් හට මත් පෙති තොග වශයෙන් බෙදා හැරීම සඳහා ගබඩා කර ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව වීරඟුල පොලිසියේ නිලධාරීන් පිරිසක් වෛද්‍ය මධ්‍යස්ථානය වටලා සෝදිසි කිරීමේදී මත්පෙති පනස් දහසකට වැඩි ප‍්‍රමාණයක් සමඟ සැකකරු අත් අඩංගුවට ගත් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.

මොහුගේ පමුණුවත්තේ නිවස පරීක්‍ෂා කිරීමේදී තවත් මත්පෙති තොගයක් හමුවූ බවද වීරඟුල පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

මෙම සැකකරු ඊයේ (15) වැනිදා අත්තනගල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් සිරිපාල එම්.පතිරණ මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අද (16) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නැවත අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරිණි.