මත් පෙති අලෙවි කළ දේශීය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පාසල් දරුවන් ඉලක්ක කරගෙන තැරැව්කරුවන් යොදා ගනිමින් මත් පෙති අලෙවි කළ දේශීය වෛද්‍යවරයෙකු බව කියන පුද්ගලයකු විවිධ වර්ගයේ  මත්පෙති තොගයක් සමඟ අද (15) පස්යාල වීරසූරිය කන්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පස්යාල වීරසූරිය කන්ද ප‍්‍රදේශයේ වසර ගණනාවක සිට වෛද්‍යවරයෙකු වශයෙන් පෙනී සිටිමින් වෛද්‍ය කටයුතු වල නිරත වී ඇති බවත් ඔහු මීරිගම හේනේපොල පදිංචිකරුවකු වන බවත් පොලිසිය කියයි.

මීට සතියකට පමණ පෙර පාසල් වියේ පසුවන දරුවන් හත් දෙනෙකු කුරුවමුල්ල ප‍්‍රදේශයේ මත්වී වැටී සිටින බවට වීරගුල පොලිසියට ලත් තොරතුරක් අනුව එම ලමයින් පොලිස් බාරයට ගෙන ප‍්‍රශ්න කර ඇත. ඔවුන් කිසියම් මත් පෙති වර්ගයක් පානය කර ඇති බව හෙලිවීමෙන් අනතුරුව ඔවුන්ගේ ලේ හා මුත‍්‍රා සාම්පල් ලබාගෙන ඇති පොලිාසිය ඒවා රස පරීක්ෂක වෙත යොමු කර ඇත.

මත්පෙති 28 ක් හා හෙරොයින් මිලි ග‍්‍රෑම් 2750 සමඟ කිරිවැද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් මෙම මත් පෙති බෙදා හරින වෛද්‍ය මධ්‍යස්ථානය පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව පොලිසිය උපාය දූතයකු යොදවා කළ වැටලීමේදී මෙම මත් පෙති තොගය හමුවී තිබේ. තවත් මත් පෙති තොගයක් සැකකරු පදිංචි නිවසේ තිබී සෙයා ගත් බව පොලිසිය කියයි.