(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බොරලැස්ගමුව නගර සභාවේ ආදායම් පරිපාලකවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ එම නගර සභාවේ වරිපනම් අංශය අද (20) සිට සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කළ බව නගරාධිපති කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය.
වේරහැර ප්‍රදේශයේ පදිංචි ආසාදිතයාගේ මව මිය යාමෙන් පසුව කළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී නගර සභා සේවකයාට ද වයිරසය ආසාදනය ඇති බවට තහවුරු වී තිබුණි.
ඒ අනුව ආසාදිතයාගේ කාර්යාලීය පළමු පෙළ ආශ්‍රිතයින් 17දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් වන බවද පැවසේ.
පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ උපදෙස් මත නගර සභා පරිශ්‍රය සම්පූර්ණ විසබීජහරණයට ලක් කර අද යළි ආරම්භ කිරීමට පියවර ගත් බවත් සේවාලාභීන් වෙනුවෙන් මේ වන විට විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.