බාලවයස්කාර සිසුවකු අපයෝජනය කළැයි 20 වසරක සිරදඬුවම්


(උපාලි ආනන්ද)
 

බාලවයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවකුට එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට  වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්  අද (30) නියම කළේය.  

ඊට අමතරව රුපියල් 9000 ක දඩ මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්නේ නම් ඔහු තවත් මාස තුනක ලිහිල් සිර දඬුවමකට ද යටත් කිරීමට නියෝග කෙරිණි. 

වින්දිත බාලවයස්කාර දරුවාට මුදලින් රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග  කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කළේය. 

2014 වසරේ ඔක්තෝබර් 8 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කැකිරාව පොලිස් බල ප‍්‍රදේශයේ තෝනිගලදී විත්තිකරු මෙම අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරිණි. 

මෙසේ දඬුවම් නියම වූයේ කැකිරාව තෝනිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වින්දිත දරුවාගේ ඥාතියකු බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණය විය.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.