බස්නාහිර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ හිඟයක්



 
 
(නිමල කොඩිතුවක්කු)
 
බස්නාහිර පළාත තුළ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ උග‍්‍ර හිඟයක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය අවධාරණය කරයි.


ඒ අනුව බස්නාහිර පළාතේ රෝහල් සහ ක්ෂේත‍්‍රවල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 497ක හිඟයක් පවතින බවත් ඉන් 203ක් ම කොළඹ දිස්ත‍්‍රික්කයේ බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති  දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද (18) කොළඹදී පැවසුවාය.


මෙයට අමතරව දිවයින පුරා තුන්දහසක පමණ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ හිඟයක් පවතින බවත් ඇය අවධාරණය කළාය.


සෑම වසරකම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 750 ක ප‍්‍රමාණයක්  බඳවා ගත යුතු වුවත් එම කටයුතු නිසි පරිදි සිදු නොවිම මෙම තත්වයට හේතුවී ඇති බවද දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.


මේ හේතුවෙන් ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අවශ්‍ය සායන පැවැත්වීම, එන්නත් ලබාදීම, ගෘහ නිරීක්ෂණ  ඇතුළු කටයුතු කිරීමේදී ගැටලූ මතුවී ඇති බවද ඇය සඳහන් කළාය.


පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟය දිගින් දිගටම පැවතුණ හොත් මාතෘ මරණ අනුපාතයට සහ ළදරු මරණ අනුපාතය වැඩිවීමට එය ඉවහල් වනු ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.