බස් රිය පෙරළුණු හැටන් - ඩයගම මාර්ගය වසා දමයි


(රංජිත් රාජපක්ෂ)                      

හැටන් පොඩයිස් වත්ත  හරහා ඩයගම දක්වා පිවිසෙන මාර්ගයේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් සියලු බර සහ සැහැල්ලු වාහන ධාවනය තහනම් කරමින් නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති එක්ව මාර්ග බාධක යොදමින් මාර්ගය තාවකාලිකව වසා දැමූහ.

ඉකුත් (02) දින ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පොඩයිස් වත්ත ප්‍රදේශයේදි අඩි 25 ක් පමණ ප්‍රපාතයට පෙරැළීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 30 දෙනෙකු සහ මගීන් 21 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරීමේ සිද්ධියෙන් අනතුරුව ඔවුහු මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළහ.
 
හැටන් පොඩයිස් වත්තේ වතු අධිකාරිවරයාගේ  නිල නිවසට පිවිසෙන මාර්ගය අසළින් සහ ආගරපතන ප්‍රාදේශීය සභාවට අයත් ඇල්බියන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට බාධක යොදා ඇත.
 
නොර්වුඩ් සහ ආගාරපතන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් කියාසිටින්නේ එම මාර්ගයේ මීට ප්‍රථම අවස්ථා කිහිපයකදි බරපතල රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බවත්, එම මාර්ගය විශාල ලෙස වලවල් හෑරී කැඩී ගොස් ඇති නිසා මෙසේ රිය අනතුරු සිදු වි ඇති බවත්ය. එම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකරියට පවරාගෙන ප්‍රතිසංස්කරණ කටයුතු කරන ලෙස ලිඛිතව ඉල්ලීම් කලත්, ඊට මෙතෙක් ප්‍රතිචාර නොලැබී ඇති බවත්, එම මාර්ගය රථ වාහන ගමනාගමනය සඳහා නිසි ප්‍රමිතියකට ප්‍රතිසංස්කරණය කරදෙන තෙක් මාර්ගය තාවකාලිව වසා දැමීමට පියවර ගත් බවත් ඔවුහු කීහ.
 
එම මාර්ගය වසා දැමිම සම්බන්ධයෙන් එම මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපතිවරයාද අවධාරණය කර සිටින්නේ මාර්ගය වසා දැමීමට සභාපතිවරුන් ගත් තීරණයට තමන්ද එකඟ වන බවය. දිනකට එම මාර්ගයේ 4000 කට ආසන්න පිරිසක් ගමන් කරන බවත්, පෞද්ගලික බස් රථ 10 ක් සහ ලංගම බස් රථ 4 ක් ධාවනය වන බවද එම බස් රථ සංගමයේ සභාපතිවරයා පැවසීය.
 
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා කියා සිටින්නේ එම මාර්ගයේ ආගරපතන මන්රාසි මංසන්ධියේ සිට කිලෝ මිටර් 1.4 දුරක් පමණක් තම සංවර්ධන අධිකාරියට අයත් බවය. තම අධිකාරියට ප්‍රතිපාදන නොමැති නිසා එම මාර්ගය තම අධිකාරිය යටතට ගැනිමට නොහැකි බවද විධායක ඉංජිනේරුවරයා පැවසීය.
 
ආගරපතන, ඩයගම, හොල්බෘක් සහ බෝපත්තලාව රජයේ ගොවිපලට පිවිසමට ඇති කෙටිම මාර්ගය හැටන් පොඩයිස් වත්ත හරහා වු මාර්ගය ය.