බස් රථයකට යට වී පවුල් සෞඛ්‍ය සේවිකාවක් මරුට


(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර, පුලියන්කුලම, උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදි යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 51 හැවිරිදි පවුල් සෞඛ්‍ය සේවිකාවක් බස් රථයකට යටවීමෙන් අද(08) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ අනුරාධපුර, තම්මැන්නාකුලම පදිංචිව සිටි ගමේවත්තේ ගෙදර සෝමාවති මැණිකේ නැමති පවුල් සෞඛ්‍ය සේවිකාවකි. ඇය දෙදරු මවකි.
 
ඇය රඹෑව රෝහලේ සේවය කරන අතර ඇය සිය නිවසේ සිට රඹෑව රෝහලට යතුරු පැදියෙන් ගමන්කරමින් සිටියදි අනතුර සිදුව ඇත. උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදි එම දිසාවටම ගමන් ගනිමින් තිබු බස් රථය යතුරුපැදිය ගැටී ඊට යටවී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලද බව පොලිසිය කියයි.
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මිය ගොස් තිබුණි.
 
මෙම අනතුරට සම්බන්ධ බස් රථය රජරට විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් වන අතර එහි රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවිස්සාවේල්ල, දෙහිඕවිට, ඇල්ලේගොඩ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.