බලපිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක


(එස්.ඒ.වයි. ද සිල්වා)

තෙමහල් ගොඩනැගිල්ලක් බලපිටිය නගරයේ ඉදිකළ යුතුයැයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (20)  පැවති ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව එක් ඡන්දයකින් සම්මත වීම හේතුවෙන් යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරු පිරිසක් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ.

සභාපති එන්.සමන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ලබාදීමට නියමිත අතිරේක ප්‍රතිපාදන යොදවා ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය පිටුපස වාහන ගරාජය තිබෙන ස්ථානයේ සභා රැස්වීම් ශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක් , මාතෘ සායනය, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයක් ඇතුළත් වන පරිදි තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට සුදුසු බවට සභාපතිවරයා යෝජනා කළේය.

එම මුදල යොදවා කොස්ගොඩ උප කාර්යාලය සංවර්ධනය කරන ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ත ද සොයිසා මහතා ඉල්ලා සිටියේය.

එම ප්‍රකාශයට පක්ෂව සංජය මධුසංඛ මුතුමුණි, ටොරී තාබ්‍රෙව්, දිල්හානි තාබ්‍රෙව් යන පිරිස පක්ෂව කතා කළහ.

කොස්ගොඩට විය යුතු සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළොත් තමා මැදිහත් වී වජිර අබේවර්ධන ඇමැතිවරයා දන්වා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දිය හැකි බව ගාමිණී යසරත්න මහතා ප්‍රකාශ කර සිටියද ඊට මන්ත්‍රීවරු පිරිස එකඟත්වය පළ නොවූයෙන් ඇති වූ නොසන්සුන්තාවය නිසා විනාඩි දහයකට සභාව කල් දැමුවේය.

නැවත රැස්වීම ආරම්භ වීමෙන් පසු කළ ඡන්ද විමසීමේ දී සභාපතිවරයා ගෙනෙන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 13 ක්ද, විපක්ෂව ඡන්ද 12 ක්ද, ලැබුණු අතර හය දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ අනුව එක ඡන්දයකින් යොජනාව සභා සම්මත විය.

එම යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරු පිරිස සභාව ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවයකද නිරත වූහ.