බලපත් නැතිව තේක්ක - කොහොඹ කඳන් ප්‍රවාහනය කරලා




(ප්‍රියාණි මංගලිකා)                 

බලපත්‍ර නොමැතිව තේක්ක සහ කොහොඹ දැව කඳන් 32 ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලගෙදර ප්‍රදේශයේ⁣දී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද (23) පැවසීය.

විවිධ ප්‍රමාණ වලින් යුතු මෙම දැව කඳන් එම වාහන වල දිගද අභිබවා අඩි 24ක් පමණ දිගින් යුතුවූ දැව කඳන්ද සහිතව ඉතා අනතුරුදායක ලෙස ප්‍රවාහනය කර තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

මෙම දැව කඳන් තොගය රන්දෙනිගම ප්‍රදේශයේ  ලී ඉරුම් මෝලක් වෙත ප්‍රවාහනය කරමින් තිබූ බවද, පොලිසිය වැඩිදුරටත් පැවසීය.

නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි යූ.ඩී. අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන්, මූලස්ථාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙයවීමෙන්, උ.පො.පරීක්ෂක ආනන්ද මහතා ඇතුළු නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.