බදුලු මුතියංගන වෙසක් පෙරහැර නොපැවැත්වීමට තීරණයක්


(විජේරත්න රත්නායක)

මේ දිනවල රටේ පවතින ව්‍යාකූල තත්ත්වය මත බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහැර නොපැවැත්වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අද (02) ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කළ පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් රට තුළ මේ දිනවල පවතින තත්වය මත පෙරහැර දින නගරයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරක්ෂක අංශයන්ට අපහසු බැවින් මෙවර ධාතුපූජා මහා පෙරහැර නොපැවැත්වෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

වෙසක් පොහෝ දින යම් බැතිමතුන් පිරිසක් විහාරස්ථානයේ සිල් සමාදන් වීම වන්දනාමාන කිරීම වැනි කටයුතුවලට පැමිණෙන බැවින් ඒ සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන්ගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.