බදුල්ලේ 1899 ක් අවතැන්


(විජේරත්න රත්නායක)
                 
වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 446 ක පුද්ගලයන් 1899 දෙනෙකු අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
                 
අධික වර්ෂාව, නායයාම්, ගස් කඩාවැටීම් හා ගල් පෙරලීම් වැනි අනතුරු හේතුවෙන් හල්දුම්මුල්ල, වැලිමඩ, ඌව පරණගම, රිදීමාලියද්ද යන කොට්ඨාසවල නිවාස 5 කට පූර්ණ සිදුවී ඇත. මහියංගනය හා මීගහකිවුල හැර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 තුළ  නිවාස 253 කට හානි වී තිබේ.
                 
අවතැන් වූ පිරිස් ලුණුගල, බදුල්ල, හපුතලේ, ඌවපරණගම, ඇල්ල, පස්සර, හාලිඇල යන කොට්ඨාසයන්හි ස්ථාපිත කෙරුණු ආරක්ෂිත ස්ථානවල හා ඥාති නිවෙස්වල රැකවරණය ලබමින් සිටිති.
 
ආපදා හානි හේතුවෙන් පුද්ගල මරණ, තුවාල ලැබීම් හෝ අතුරුදහන් වීම් කිසිවක් වාර්තා නොවූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.