පොළොන්නරුව ගොවීන්ට මොරගහකන්දෙන් ජලය


(ඩබ්.ඒ. පියතිලක)

ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකිව පීඩා විදිමින් සිටි පොළොන්නරුව ගොවින්හට  යල් කන්න වගා කිරීම සඳහා ජලය සපයා ගැනීමට  මොරගහකන්ද  ජලාශයෙන් ගිරිතලේ ,කවුඩුල්ල සහ මින්නේරිය යන වැව්වලට ජලය ලබා දීමට පොළොන්නරුව කලාපභාර වාරිමාර්ග කාර්යාලය පියවර ගෙන තිබේ.

වගා බිම් සදහා අවශ්‍ය ජලය නොමැති කම හේතුවෙන් ගොවිතැන් කටයුතු කර ගත නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයකින් සිටි අතර  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එම ජල ගැටළුව විසදීම සඳහා  මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා දීමට වාරි මාර්ග නිලධාරීන් කටයුතු කර ඇත.

ඉදිරි යල් කන්නය නියමිත පරිදි කිසිදු ජල හිගයකින් තොරව වගා කිරීමට අවශ්‍ය පරිදි සියළු වැව්වල ජලය රැස්කරමින් පවතින බව පොළොන්නරුව කලාපභාර වාරි මාර්ග අධ්‍යක්ෂ එස් කේ හේවගේ මහතා සඳහන් කර සිටියේය.

වැඩිදුර අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසිය- ‘ගිරිතලේ  මින්නේරිය සහ කවුඩුල්ල වැව්වල ගොවිජනපද  වාසීන්  සදහා වැව්වල  ජලය නොමැතිකම මත සිය වගා බිමිවලින් අඩක්   වැඩ කිරිමට සහ ඇතැම් කන්නවල වගාව අතහැර දැමිමටත් සිදු වුණා. මෙසේ විමට ප‍්‍රධාන හේතුව වුණේ  කාලගූණික විපර්යාස නිසා.  මේ නිසා  ගිරිතලේ මින්නේරිය සහ කවුඩුල්ල ගොවිජනතාව දැඩි අපහසුතාවකට පත් වුණා. කෙසේ නමුත් පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි එක් ලක්ෂ දහතරදාක් ද ගිරිතලේ අක්කර අඩි දහදාස් එක සියකුත් මින්නේරිය අක්කර අඩි  72000 සහ කවුඩුල්ල වැවෙහි අක්කර අඩි  27000ක් තිබෙන බවත් කවුඩුල්ල වැවෙන්  මේවන විට කන්තලේ වැවට ජලය මුදා හරිමින් පවතින බවයි. මෙම ලබා ගන්නා ජලයෙන් පොලොන්නරුවේ අක්කර අසුදාහකට වැඩි අක්කර ප‍්‍රමාණයක් කිසිදු ජල හිගයකින් තොරව මෙවර යල් කන්නය වගා කළ හැකි බවද කීවේය.