( රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වළකට දමා පොල්කටු පුළුස්සමින් සිටි පුද්ගලයෙකු අද (27) උදෑසන එම අගුරු වලට වැටී පිළිස්සී මියගොස් ඇති බව වාරියපොල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වාරියපොල පොලිස් වසමේ කෙලිමුණේ, දිවුල්කොටුව පදිංචිව සිටි ඩී.එම්. සිරිවර්ධන නැමැති හැට හැවිරිදි තිදරු පියෙකි. රැකියාව ලෙස කුලීවැඩවල නිරතව සිටින මෙම පුද්ගලයා අමතර ආදායම් මාර්ගයක් ලෙස පොල්කටු අගුරු නිෂ්පාදනයේ යෙදෙන බව ඔහුගේ ඥාතියෙකු පැවසීය.
රෝගී තත්ත්වයකින් පෙලෙන මෙම පුද්ගලයා එම රෝගය උත්සන්න වීමෙන් අගුරු වලට වැටෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සිද්ධියෙන් පුද්ගලයා එතැනම මියගොස් ඇති අතර අසල්වැසි තරුණයෙකු පැමිණ සිරුර ගොඩට ගෙන ගින්න නිවාදමා ඇති බව පොලිසිය කියයි.
දෙවමැද්දේ කෝරලයේ හදිසි මරණ පරීක්ෂක එල්.එච්.එම්. ප්‍රේමපුෂ්ප මහතා සහ වාරියපොල පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගෙනයාමට උපදෙස් ලබාදුන්හ.