පුත්තලම සංහිදියා ක්‍රීඩා උළෙලේ දී නගරාධිපති නිලධාරීන්ට බැන වදී


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

පුත්තලම දිස්ත්‍රික් ක්‍රීඩා සංකිර්ණයේ දී  අද (6) පැවති සංහිදියා ක්‍රීඩා උළෙලේ දී පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරින්ට පුත්තලම නගරාධිපති පහත් ආකාරයෙන් බැන වැදීමෙන් පසු නිළධාරීන් එයට විරෝධය පා ක්‍රීඩා උළෙලින් ඉවත් ගියේය.

මෙම ක්‍රිඩා උළෙල පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පුත්තලම නගර සභාවේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබිණි.

මේ සඳහා පුත්තලම නගරයේ සියලුම රාජ්‍ය ආයතනවල නිළධාරීන්ගේ සභාගීත්වයෙන් අද (6) උදෑසන 9 ට ආරම්භ වී තිබිණි.

අදාළ ක්‍රීඩා උත්සවයේ එක් ඉසව්වක් සඳහා එක් ආයතනයකින් තරගකරුවන් දෙදෙනෙකු පමණක් ඉදිරිපත් කිරීමට සංවිධායකයින් තීරණය කර තිබීමෙන් එම ආකාරයට කටයුතු කරගෙන යමින් සිටියදී යගුලිය සහ කවපෙත්ත ඉසව්වට පුත්තලම නගර සභාවෙන් නම් කර තිබූ තරගකරුවන් දෙදෙනාට අමතරව තවත් තරගකරුවන් කීප දෙනෙකු ඉදිරිපත් කර ගන්නා ලෙසට පුත්තලම නගරාධිපති කේ.ඒ.බායිස් මහතා දන්වා අදාළ කටයුතුවල නිරත වී සිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරීන්ට දන්වා තිබේ.

නමුත් තරග ඉසව්වල කොන්දෙසි මත එසේ කළ නොහැකි බව නිලධාරින් නගරාධිපතිවරයාව දැනුවත් කරද්දී නගරාධිපතිවරයා නිලධාරින්ට පරුෂ වචනයෙන් බැන වැදී මට උවමනා දේ තමයි මෙතන කරන්න ඕනෑ යැයි නිලධාරීන්ට තර්ජනය කර තිබේ.

සිද්ධියත් සමඟ එම ස්ථානයේ සිටි නිලධාරීන් හා ක්‍රීඩා ඉසව් සඳහා තරග වැදීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පැමිණ සිටි 100 කට වැඩි රාජ්‍ය නිළධාරින් පිරිස මෙම සිද්ධියට විරෝධය මතුකර එම ස්ථානයෙන් ඉවත්ව නැවත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ ඇත.