(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කලපුව වනසමින්, තහනම් දැල් යොදා ගනිමින් මසුන් මරමින් සිටි ධීවරයින් තිදෙනෙකු සමග ධීවර යාත්‍රා හා තහනම් දැන් තොගයක් අද(22) අලුයම නාවික හමුදාව අත්අඩංගුවට ගෙන පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දී තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය සොත්තුපිටි වාඩිය පදිංචි ධීවරයින් තිදෙනෙකි.
සැකකරුවන් සමග රුපියල් ලක්ෂයක් පමණ වටිනා තහනම් දැල් තොගයක්, ධීවර යාත්‍රා දෙකක්, යාත්‍රා එන්ජින් දෙකක් හා මෙම සැකකරුවන් අල්ලා ගත් රුපියල් 10,000 වටිනා මසුන් තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 2017 සංශෝධන පනතට අනුව යාන්ත්‍රික යාත්‍රා මගින් ශ්‍රී ලංකා ජල තීරය තුළ පතුලේ ඇදගෙන යනු ලබන දැල් සන්තකයේ තබා ගැනීම, ක්‍රීයාත්මක කිරීම තහනම් කර ඇති බවය.
වැටලීම සඳහා කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරින් හා නාවික බුද්ධි අංශ එක්ව සිටියහ.
ඒ සමගම පරීක්ෂණ සදහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂක සරත් චන්ද්‍රනායක මහතාගේ උපදෙස් මත සංවර්ධන නිලධාරි සමන් පුෂ්පකුමාර ධීවර නිලධාරි එරංග වීරකොන් , තාරක බාලගේ යන නිලධාරීහු එක්ව සිටියහ.