(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය, හග්ගල මල්වත්තට පිවිසෙන දොරටුව වෙනස් කිරීම විරෝධය දක්වා හග්ගල මල්වත්ත ඉදිරිපිට වෙළෙඳසැල් හිමියෝ පිරිසක් අද (07) හග්ගල මල්වත්තට පිවිසෙන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරතවුහ.
වසර 156 ක් පමණ පැරණි හග්ගල මල්වත්තට පිවිසෙන පැරණි දොරටුව වෙනුවට වැලිමඩ දෙසට වන්නට සකස් කරන ලද නව පිවිසුම් දොරටුව මල්වත්ත නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරක පිරිස් සඳහා යාමට හා ඒමට භාවිතා කිරීම හේතුවෙන් තමන්ගේ දෛනික වෙළෙඳාමට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි උද්ඝෝෂණයේ නිරත පිරිස් පැවසුහ.
පැරණි ක්‍රමයට මල්වත්තට පිවිසීමේ දොරටුව යළි ස්ථාපිත කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද උද්ඝෝෂණයේ නිරත පිරිස මෙහිදී සඳහන් කළහ
හග්ගල මල්වත්ත ඉදිරිපිට වෙළෙඳ සැල් හිමියන් විශාල පිරිසක් පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් මල්වත්තේ පිවිසුම් දොරටුව ආවරණයවන සේ උද්ඝෝෂණයේ නිරතව සිටියහ.
නුවරඑළිය පොලිසිය, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට පැමිණ මල්වත්ත පාලන අධිකාරියේ නිලධාරීන් සමඟ හෙට (08) දින නුවරඑළිය දිසාපති කාර්යාලයේදී සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධය අතහැර දැමීමට විරෝධකරුවන් පියවර ගත්හ.