පාදුක්කේ දළඹුවෝ පරීක්‍ෂණයට හොරණ යවති


(කේ. බුද්ධික කුමාරසිරි)

 
 
පාදුක්ක වේරගල ප‍්‍රදේශයේ පතෝල කොරටුවක විශාල වශයෙන් සිටි ‘‘සේනා’’ දළඹුවන්ට සමාන ශරීර ලක්ෂණ පෙන්වන දළඹුවන් විශේෂයක් අද (22) සොයා ගැනීමෙන් පසු පරීක්ෂණ කටයුතු සදහා හොරණ කෘෂිකර්ම පර්යේෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කළ බව පාදුක්ක ගොවිජන සේනා මධ්‍යස්ථානය පවසයි.
 
මෙම කොරටුවෙහි පතෝල බීජ ඉන්දවා මාස කිහිපයක් පමණක් ගතව ඇති අතර එම ගොවි බිමෙහි පොළොවෙන් මෙලෙස සේනා දළඹුවන්ට සමානකම් දක්වන දළඹු විශේෂයක් මතු වෙන්නට පටන් ගෙන ඇතැයි අදාළ කොරටුව හිමි ගොවි මහතා කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කර ඇත.
 
පසුව එම තොරතුරු අනුව තම කාර්යාලයට අනුයුක්ත ගොවි උපදේශකවරුන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් සිදු කළ පරීක්ෂාවේදී සේනා දළඹුවන්ට 95 %ක් පමණ ශරීර ලක්ෂණ පෙන්වන මෙම දළඹු විශේෂය හමු වූ බැවින් එම සතුන් කිහිපදෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කළ බව එම කාර්යාලය පවසයි.
 
ගොවිජන සේවා නිලධාරීන්ගේ උපදෙස් පරිදි අදාළ කොරටුව සම්පූර්ණයෙන්ම පිරිසිදු කර එහි සිටි දළඹුවන් සහිත පස් ද සමගින් ඉවත් කර පිළිස්සීමට කටයුතු කළ බවද අදාළ කොරටුව හිමි ගොවි මහතා කීය.