ප්‍රජාශාලාවට වෙන්කළ ඉඩම බලෙන් අල්ලා ගත්තාට එරෙහිව විරෝධතාවයක්


(විජේරත්න රත්නායක )

බදුල්ල මහ නගර සභා සීමාවට අයත් පහළවත්ත පින්නලන්ද ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ඉදිකිරීම සඳහා වෙන්කර තිබූ ඉඩමක් යම් පුද්ගලයෙක් විසින් දේශපාලන රැකවරණය මත බලෙන් අත්පත් කරගෙන සිටීමේ සිද්ධියක් පිළිබඳව විරෝධය දක්වා එම ප්‍රදේශවාසීන් පිරිසක් අද (20) බදුල්ල නගර ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

තම ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ග්‍රාම නිලධාරී කාර්යාලයක් , පෙරපාසලක් ඇතුළු පොදු ගොඩනැගිලි කිසිත් නොමැති අතර මෙම භූමිය එම අවශ්‍යතා වෙනුවෙන් වෙන්කර තිබූ බවත් ඒ සඳහා මේ වන විට මුදල් ප්‍රතිපාදන පවා වෙන්කර ගැනීමට කටයුතු කර ඇතත් එය එක් පුද්ගලයෙක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත් පෙන්වාදුන් උද්ඝෝෂකයෝ මෙම ඉඩම නිරවුල් කොට නිදහස් කරදෙන ලෙස නගර සභාවෙන් ඉල්ලා සිටියහ.

මෙම උද්ඝෝෂණය අතරතුර ආරම්භ වූ බදුල්ල මහ නගර සභා මාසික රැස්වීමේදී මේ සම්බන්ධව ඉදිරිපත්වූ ක්ෂණික යෝජනා තුනක් සම්බන්ධයෙන් සභා මන්ත්‍රීවරුන් විසින් අදහස් දැක්වීමෙන් අනතුරුව අදාළ ඉඩම මැන නිරවුල් කොට ජනතාව වෙත වෙන්කර දියයුතු බවටත් ලබන වසර තුළදී අදාළ ප්‍රතිපාදන සපයාගෙන එහි ප්‍රජාශාලාව ඉදිකළ යුතු බවත් බදුල්ල මහ නගර සභාව ඒකමතිකව තීරණය කළේය.