පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳත් නැන්දම්මාත් ඝාතනය කරයි


(චන්ද්‍රසේන ගමගේ)

තිස්සමහාරාම සදුන් ගම ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුර දිග යාමෙන් පවුලෙන් වෙන්ව ජීවත් වූ සැමියා විසින් ඔහුගේ බිරිඳ සහ නැන්දම්මා අද (23) තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කොට ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.

සැමියා ගේ පහර කෑමට ලක්ව ඝාතනය වී ඇත්තේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 25 හැවිරිදි ග්‍රාම නිලධාරීනියක් හා ඇයගේ මව වූ 53 හැවිරිදි කාන්තාවකි.

මිය ගිය ග්‍රාමසේවක නිලධාරිනියගේ කාර්යාලය තුළදී මෙම ඝාතනය අද (23) සිදු වී ඇති බව පොලිසිය කියයි.මිය ගිය ග්‍රාමසේවක නිලධාරිනිය  දෙදරු මවක් වන අතර එක් දරුවෙකු ගේ වයස මාස 08ක් වන බව පොලිසිය පවසයි.

මිය ගිය ග්‍රාම නිලධාරිනිය හා ඇයගේ සැමියා අතර කලක පටන් පවුල් ආරවුලක් තිබී ඇති අතර පසු ගිය වසරේ දෙසැම්බර් 26 වැනි දිනද ඝතනයට ලක්වූ ග්‍රාම නිලධාරිනියට ඇයගේ සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී ඇතැයිද පොලිසිය පවසයි.

බිරිඳත් නැන්දම්මාත් ඝාතනය කළ සැකකරු තිස්සමහාරාම පොලිසියට බාර වී ඇති බවත් සැකකරු  යුද හමුදාවේ සේවය කළ අයෙකු බවත් පොලිසිය පැවසීය.