පල්ලෙකැලේ අභයභූමියේ තුවක්කු ඇටවූ 2ක් අත්අඩංගුවට


(කුෂාන් ජයවර්ධන)
 
කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ ස්වාභාවික අඩි පාරක් ආශ්‍රිතව බඳින තුවක්කු අටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (19) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම අඩිපාර, වැටලීම් සඳහා වනජීවී නිලධාරීන් ගමන් ගන්නා පාරක් බව පැවසේ.
 
වනජීවී නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී අටවා තිබූ බඳින තුවක්කු 04ක්, ලී කරු, උගුල් කණු, මරුවැල් හා මූනිස්සන් තොගයක් ද සැකකරුවන්  අත්අඩංගුවට ගත්  බව  වනජීවී නිලධාරීහු පැවසූහ.
 
සැකකරුවන් පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 හා 48 වයස්වල පසුවන්නන් බව වනජීවී නිලධාරීහු පවසති. 
 
ඔවුන් කලක් තිස්සේ දඩමස් ජාවාරම්ද සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
 
ගල්කිරියාගම වනජීවී කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.