පන්නල ජල ගැලීමෙන් පවුල් 884 ක් අවතැන්


හේමලතා ඩී හේවගේ            

                                        
අධික වර්ෂාවෙන්  කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ  පන්නල  ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට  බලපෑ ජලගැලීම් හේතුවෙන් ග‍්‍රාම සේවා වසම් 46 ක ආපදාවන්ට ලක්වූ  පවුල් සංබ්‍යාව  884 දක්වා ඉහළ යාමෙන්  පුද්ගලයින් 3153 ක් පීඩාවට පත්ව ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.
                       
කන්දෙපොළ පවුල් 197 ක් හුන්දිරාපොල 93 , මාහරගම 61 , වෙල්පල්ල 42 , වැල්ලෑව 29 , පන්විලකුඹුර 27 , ඇලබඩගම බටහිර 26 ,  නාලවලාන 23 ක් ඇතුඵ ග‍්‍රාම සේවා වසම් වලින් මෙම අවතැන් වූ පිරිස් වාර්තා වී ඇති අතර පූර්ණ වශයෙන් හානිවූ නිවාස 07 ක් සහ අර්ධ ලෙසින් හානිවූ නිවාස 54 කටද අලාභ හානි සිදුව ඇති බවද සඳහන් වේ.
  
කොට්ඨාසයේ ප‍්‍රධාන හා අතුරු මාර්ග 36 ක් ප‍්‍රතිසංස්කරණය කළ යුතු බවත් ජලගැලීමෙන් ළිං 452 ක් පමණ අපිරිසිදු තත්වයේ ඇති බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය මත නාවික හමුදා භටයින්ගේ සහයෝගය ඇතිව ජලය සම්පූර්ණයෙන් බැස ගිය පසු පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන බවද ලේකම්වරයා  කීය .
                                                                                                                                                        අවතැන්වූ පිරිස් වෙත මේ වන විටත් පිසූ ආහාර පානීය ජලය , වියලි ආහාර ද්‍රව්‍ය ඇතුඵ පොදු පහසුකම් සියල්ල ලබාදීමට කටයුතු යොදා ඇති අතර පීඩාවට පත්ව සිටින ජනතාව වෙත අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමටද බුද්ධශාසන අමාත්‍ය ගාමිණි  ජයවික‍්‍රම පෙරේරා මහතාගේ ද උපදෙස් ලැබී ඇත.


තවදුරටත් මෙම ජලගැලීම් තත්වය කොට්ඨාසය තුළ වර්ධනය වුවහොත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම  වෙනුවෙන් නාවික හමුදා භටයින් තිදෙනෙකුද අනුයුක්ත කර ඇති බවද හෙතම පැවසීය.