පන්ති තහනමට එරෙහිව රජරට සිසුහු වීදි බසිති



 
බී.ජී. චතුරංග 

 
සිසුන් දොළොස් දෙනකු හට පනවා ඇති වසර දෙකක හා වසර එක හමාරක පන්ති තහනම වහා ඉවත් කරන ලෙස පරිපාලනයට බලකරමින් හා එයට විරෝධය පලකරමින්, මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් අද (20දා) උද්ඝෝෂණයක් කළහ.
 
 
සනීපාරක්ෂක පහසුකම්, බීමට  ජලය නේවාසිකාගාර හා ආපන ශාලා ගැටලු විසඳීමට තිබියදී, පරිපාලනය විසින් ශිෂ්‍යයින් පමණක් මර්නදය කිරීමට ක්‍රියාකරන බව උද්ඝෝෂකයෝ පැවසූහ.
  
රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් ජයලත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
 
‘රජරට විශ්වවිද්‍යාලය වසා දමා තිබෙන මේ මොහොතේ මේ විදියට ශිෂ්‍යයන් එකතුවෙලා ඉන්නේ මේ පාලකයින්ට විරුද්ධවයි. මේ වන විට රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇතුළු සිසුන් දොළොස් දෙනකුට අදාල වසර දෙකක හා  වසර එකහමාරක පන්ති තහනමක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් සිසුන් නව දෙනකු  ගේ ශිෂ්‍ය භාවය මාසයකට අත්හිටුවලා තිබෙනවා. 
 
මේ ගැටළුවට හේතුව වන්නේ පසුගිය ජනවාරි 30 රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට තුළට විශ්ව විද්‍යාලයේ වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකු, හඳුනාගැනීමට නොහැකි  ඇඳුම් හැඳ, බීමතින් නේවාසිකාගාර තුලට ඇතුල්වී ගැටුම් තත්ත්වයක් නිර්මාණය කිරීමයි. විශ්වවිද්‍යාලය තුළ තිබෙනවා අධ්‍යාපන සුබසාධන ගැටලු විසඳන්නෙ නැතුව මේ විදියට රෑ දොළහටකඩා පැන මර්දනය ගේනවා නම් එයට අපි විරුද්ධයි. ‘‘