(රවීන්‍ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
මාසික මහ සභා රැස්වීම අතරතුර ඇතිවූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් වාරියපොල ප‍්‍රාදේශීය සභාවේ සැසිවාරය සැප්තැම්බර් මස 11 දින දක්වා කල් තැබීමට සභාපති ඞී.එම්.ටී.බී. දිසානායක මහතා අද (14) පියවර ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීනි එස්.එම්. ධම්මිකා සමරකෝන් මහත්මිය විසින් තමන් අද සභාවේදී කළ ප‍්‍රකාශයක් සම්බන්ධව එම අවස්ථාවේදීම නිවසේ සිටි තම සැමියාට මරණ තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව දැන්වීමත් සමඟම මෙසේ සභාව කල්තැබිණි.
තමන් මහ සභාවේ කළ ප‍්‍රකාශයක් පිටස්තර පුද්ගලයෙකු දැනගෙන දුරකථනයෙන් තර්ජනය කරන්නේ කෙසේදැයි මන්ත‍්‍රීතුමිය විමසා සිටියාය. අදාල පැමිණිල්ල තමන් වෙත ලිඛිතව ලබාදෙන ලෙස එම මන්ත‍්‍රීතුමියට දන්වමින් සභාපතිවරයා සභාව කල් තැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කළ ධම්මිකා සමරකෝන් මහත්මිය ”
පසුගියදා අපේ කොට්ඨාසයේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමා, වයඹ පළාත් සභා මන්ත‍්‍රී මංජුල බණ්ඩාර මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වුණා. තේ පැන් සංග‍්‍රහය සූදානම් කරලා තිබුණේ ප‍්‍රාදේශීය සභාවේ සේවකයෙකුගේ නිවසක. ඊට පසුදින එම පුද්ගලයා මට කිව්වා ඔහුව සේවය කළ ස්ථානයෙන් වෙනත් තැනකට මාරුකර ඇති බව. මම මේ පිළිබඳව ගරු සභාපතිතුමා දැනුවත් කළා. එතුමා සොයාබලා එසේ සිදුවී නැති බව මා හට දැන්වූවා. මම ඒ පිළිබඳව තමයි සභාවේ කතා කළේ. ඊට සුළු මොහොතකට පස්සෙ මට මගේ මහත්තයා කතා කරලා කිව්වා අර සේවකයා මාරු කිරීමට උත්සහ කරපු පුද්ගලයාම දුරකථනයෙන් මරණ තර්ජන එල්ලකළා කියලා.
මගේ මහත්තයා ක‍්‍රියාන්විත රාජකාරියේ සිටි රණවිරුවෙක් ඔහුට තර්ජනය කළ නිසා. කාන්තා නියෝජනයට සලකන්නේ මෙහෙමෙද මට මේ ගැන සභාවට හරියට කියාගන්න බැරිවුනා. සභාව කල් තැබුවා.
එක්සත් පාතික පක්ෂ මන්ත‍්‍රී ජේ.ඒ.එස්. මායාදුන්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”මෙලෙස සභාව කල්තැබීම ඉතාමත්ම දීන ක‍්‍රියාවක් වශයෙන් මම දකින්නේ. එය සදාචාරාත්මක නැහැ. ජනතාවගේ ස්වාධිපත්‍ය බලය මෙතන තමයි ප‍්‍රකාශ කරන්න තියෙන්නේ. ඒ අදහස් ප‍්‍රකාශ කරන්න තියෙන අවස්ථාව නැතිකළා. ඒක ද්‍රෝහී ක‍්‍රියාවක්. අපි මේකට මොනයම් ක‍්‍රමයකින් හරි විරෝධය ප‍්‍රකාශ කරනවා.
එක්සත් ජනතා සංධානයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු වන ජයතිස්ස මාකුඹුර මහතාද මෙසේ අදහස් දැක්වීය. ”
අද මන්ත‍්‍රීවරියක් සභාවේ කතාකළ දෙයක් සම්බන්ධව ඒ මොහොතේදීම බාහිර පුද්ගලයෙක් විසින් නිවසේ සිටි එම මන්ත‍්‍රීතුමියගේ ස්වාමිපුරුෂයාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කරනවා. මෙහෙම වෙන්නේ කොහොමද අපි ඉතාමත් කණගාටුවෙනවා . අද වාරියපොල ප‍්‍රාදේශීය වැටිලා තියෙන තත්වය පිළිබඳව”