නීතිවිරෝධීව වැලි ජාවාරම් කළ තිදෙනෙක් අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ)
 

මීගමුව කොච්චිකඩේ ගඟේ නීතිවිරෝධී වැලි ජාවාරමක් කළ සැකකරුවන්  තිදෙනෙකු  ඇතුළු දේපල අද (8) අත්අඩංගුවට  ගනු  ලැබු බව  වලාන  දූෂණ  මර්දන ඒකකය පවසයි.

කොච්චිකඩේ පොලිස්  වසමට අයත් දූරියන් ගස් හංදිය තොටුපළ පිහිටි මා ඔය  ගඟේ දෙපස  ඉවුරු කඩා  බෝට්ටුවලට  පටවමින්  ගොඩට ගෙන  මුදලට අලෙවි කරමින්  කලක සිට මෙම මහ පරිමාණ වැලි ජාවාරම  ඉතා සූක්ෂම අයුරින්   පවත්වාගෙන ගොස් තිබු බව පොලීසිය කියයි. 

මා ඔය ගඟේ වැලි ගොඩ දාමින් සිටි සහ ලොරි රථ වලට වැලි පටවමින් සිටි  සැකකරුවන් පිරිස සහ 
බෝට්ටු දෙකක්, වැලි පැටවූ ලොරි රථ දෙකක්, යකඩ සවල්, වැලි ගොඩ දැමීමට සකස් කරන ලද  පනිට්ටු ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් දිනකට වැලි ටිපර් රථ 10 ක් පමණ නීතිවිරෝධි ලෙස අලෙවි කර  රුපියල්  ලක්ෂයකට අධික මුදලක්  උපයා ගන්නා බවට කරන ලද  පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.