(අනීෂා මානගේ)
නීතිවිරෝධී අයුරින් දැල් යොදා කුඩාවැල්ල සූරියගහවැල්ල ධීවර වරායේ මසුන් මරමින් සිටි තිදෙනෙක්, ඔරුවක්, බෝට්ටුවක්, දැල් සහ මසුන් සමඟ අද (20) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ තංගල්ල මාවැල්ල ප්‍රදේශයේ පදිංචි ධීවර රැකියාවේ නිරත වූවන් තිදෙනෙකි.
කුඩාවැල්ල සූරියගහවැල්ල ධීවර වරායට අයත් ප්‍රදේශය තුළ ඔරුවක සහ බෝට්ටුවක සිට නීතිවිරෝධී අයුරින් දැල් යොදා මසුන් මරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවරයින්ගෙන් ලද පැමිණිලි අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
දැල් භාවිතා කර ධීවර වරාය තුළ මසුන් ඇල්ලීම තහනම් බවද පාරම්පරික ලෙස බිලී පිත්තක් උපයෝගී කරගැනීමෙන් පමණක් ධීවර වරාය තුළ මසුන් ඇල්ලීම සිදුකළ හැකි බවද මෙලෙස දැල් යොදා මසුන් ඇල්ලීම නිසා පාරම්පරික ධීවරයින්ට සිය රැකියාව ඉදිරියටත් සිදුකර යෑමේදී ප්‍රබල බාධා රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ද ධීවරයෝ පැවසූහ.