(ටී.කේ.ජී.කපිල )
කරදමුංගු,ළූණු බීජ සහ කෘමි නාශක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද (23) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොවුන් ශ්‍රී ලංකාව සහ විදේශ රටවල් සමඟ මේ ආකාරයට නීතිවිරෝධී ජාවාරම් සිදු කරන කණ්ඩායමක සහායකයින් දෙදෙනකු බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ .
මොවුන් අතරින් එක් අයෙකු 39 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අනෙක් ගුවන් මගියා කොළඹ ,මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු වන අතර ඔහු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ශාක නීරෝධනායතන පනතේ නීතිමය විධිවිධාන උල්ලංඝනය කරමින් සහ ආනයනය බලපත්‍ර නොමැතිව ගෙනැවිත් තිබූ මෙම භාණ්ඩ තොගය ඔවුන්ගේ ගමන් මලු තුළ සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් මෙම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් බවත් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .