නිරෝධායනය මධ්‍යස්ථානයකින් පලා ගිය අයෙකු අල්ලාගනී


(ක.ග කරුණාරත්න)

මාලදිවයිනේ සිට මෙරටට පැමිණ පොලොන්නරුව , අරලගංවිල , දම්මින්න ප්‍රදේශයේ පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අනවසරයෙන්  පිටතට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී  එම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී  ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද (24) පැවැසීය.

ඒ අනුව එම පුද්ගලයා වැලිකන්ද කොවිඩ් - 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර  ඔහුගේ සීමීපතමයන් සිය නිවෙස්වල ස්වයං නිරෝධායන සඳහා යොමුකර කර ඇතැයිද ඒ මහතා කීය.

මෙම පුද්ගලයා අවස්ථා දෙකකදී මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ ඇති බවත් එසේ පැමිණ  ත්‍රීරෝද රථයෙකින් ගොස්  මත්පැන් අලෙවි සැලකට පැමිණ මත්පැන් පානය කර තිබෙන බවත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එම ස්ථානයේ සේවකයන් තිදෙනෙකු , ත්‍රීරෝද රථයේ රියැදුරුගේ පවුලේ සාමාජිකයන් 04 දෙනෙකු සහ මොහු ආ ගිය තැන් ලෙස හඳුනාගත් වෙළඳසැල් දෙකක පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළුව 09 දෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පැවසීය.

මීට අමතරව එම පුද්ගලයා සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයන් තවත් සිටීද යන්න සොයා පොලීසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මගින්  විමර්ශන සිදුකරන බව ද වෛද්‍ය කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.