ඩී. ජී. සුගතපාල
ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයා අද (13) පාසල තුළදීම ගුරුවරයෙකුට කොසු මිටෙන් පහරදී තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කොසු මිටෙන් පහරදීම නිසා හිස තුවාල වූ ගුරුවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව පහරකෑමට ලක්වූ ගුරුවරයා විවේක කාමරය තුළ සිටියදී අනෙක් පැත්තේ සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා තවත් ගුරුවරු පිරිසක් සමඟ ඔහුව විවේචනය කරමින් දොස් පවරා ඇත.
එය අසාගෙන සිටි ඔහු නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉන් එළියට එනවිට ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේ ඇතිවූ බහින් බස් වීමකදී නියෝජ්‍ය විදුහල්පතිවරයා අසළ තිබූ කොස්ස ගෙන එහි මිටෙන් හිසට පහරදී තිබේ.