නිධන් හෑරූ පුද්ගලයෙකු අත්අඩංගුවට


 

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)

අද දහවල් (5) පුරාවිද්‍යාවට අයත් හාරගම ගෝනවත්ත පුරාණ විහාර භූමියට ආසන්න ගල් ලෙනක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයෙකු තලාතුඔය පොලිසියේ කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු තිස් හතක් වන රන් වැඩ කර්මාන්තයේ නියුතු රන් කරුවෙකි. මෙම ස්ථානයේ රන් සහිත නිධානයක් ඇති බවට තමන්ට තොරතුරු ලැබූනු නිසා ඔහු නිධානය හෑරීම සිදුකොට ඇත.

වික්ටෝරියා ජලාශය ඉදිවීමත් සමග මහවැලි ගං ඉවුරේ පිහිටි මෙම විහාරයේ කොටසක් ජලාශයට යටවීම නිසා විහාර  භූමිය අත් හැර දමා ඇති අතර එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රදේශය සලකුණු කොට ඇත.

නිධානය හැරීමට යොදාගත් කුලුගෙඩි අලවංගු හා උදළු ද අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හෙට දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසිංහ, උප පොලිස් පරීක්ෂක මහින්දසිරි, පොලිස් සැරයන් 29363 චන්ද්‍රෙස්කර, පොලිස් කොස්තාපල් 20030 බණ්ඩාර, 67717 ලක්මාල් සහ 78429 බණ්ඩාර යන නිලධාරින් මෙම වැටලීම සිදුකොට ඇත.