නිධන් හැරූ 11 ක් අගෝස්තු 07 දක්වා රිමාන්ඩ්


(නිශාන්ත කුමාර)

කන්දකැටිය උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව    බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත්කළ සැකකරුවන් 11 දෙනා අගෝස්තු මස 07 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සුජීවනද සිල්වා මහතා අද (26) නියෝග කළේය.

එදිනට එම ස්ථානය සම්බන්ධයෙන් පුරා විද්‍යා වාර්තාව ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කන්දකැටිය, පොලිස් වසමේ පදිංචි පුද්ගලයින් හය දෙනෙකු හා පදවිය,කැඹිතිගොල්ලෑව, මීගමුව ,තංගල්ල හා පාදෙණීය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු   25 ත් 40 ත් අතර වයසේ පසුවන  පුද්ගලයින් පිරිසක් බව පොලිසිය පැවසීය.

කන්දකැටිය  පොලිස් වසමට අයත් උල්පතගම අඹගහවත්ත කුඹූරුයායේ ගල්තලාවක නිධානයක් හාරන බවට ලද තොරතුරක් මත කන්දකැටිය පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස සමඟ ඔවුන් සතුව තිබූ ඇමෝනියා , සේවා නූල්, මල් බුලත් තට්ටු, පිරිත් නූල්, උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක් ද  අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.