නාවලපිටිය - තලවකැලේ මාර්ගය යථා තත්ත්වයට


(රංජිත් රාජපක්ෂ)                      

නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයට අද (28) දින ගසක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය අසල අද (28) ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි ගසක් අධි බලැති විදුලි රැහනකට කඩා වැටීමෙන් විදුලි රැහන් සහිත කණුව සමඟ ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

නාවලපිටිය පොලිසිය සහ නාවලපිටිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස සහ විදුලි රැහන් සහිත කණුව ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත්කළ බව පොලිසිය කීය.

විදුලි රැහන් සහිත කණුව කඩා වැටීම නිසා නාවලපිටිය නගරයේ ස්ථාන කිහිපයකටම විදුලි බලය ඇණ හිට ඇති අතර , විදුලි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් ආරම්භ කර ඇත.