(ඉන්දික අරුණ කුමාර)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයන අක්කර 500 ක වපසරියක් හිමි නාඋල - අඹන මහ වෙල්යායේ ගොවිහු වගා ආරක්ෂාව සදහා වායු රයිෆල් ඉල්ලා සිටිති.
කලක් තිස්සේ පවතින වන අලි,රිලා සහ මොණර උවදුරු පාලනය සදහා මෙම ඉල්ලීම සිදුකරන බව ගොවිහු පවසති.
වසරකට තුන් වතාවක් වගා කටයුතු සිදුකරනු ලබන අඹන වෙල්යාය ආශ්‍රීතව ගොවිතැන් කටයුතු සිදුකරන ගොවි පවුල් ප්‍රමාණය 200 කට වැඩිය.
වී වගාවන්ට අමතරව අතරමැදි කන්නයේ දී බතල,වැටකොළු,බෝංචි,දඹල,පතෝල,මෑකරල්,වට්ටක්කා,අමු මිරිස්,කැකිරි,බණ්ඩක්කා,ගෝවා මෙන්ම මාළු මිරිස් ආදි එළවළු රැසක් අඹන වෙල් යායේ දී වගා කෙරෙති.
දිවා රෑ දෙකෙහිම දැඩි වෙහෙසක් දරමින් සිදුකරනු ලබන සිය වගාවන් වලට වන සතුන්ගෙන් එල්ල වන බරපතල හානි වළක්වා ගැනීම සදහා වායු රයිෆල් ප්‍රමාණවත් වෙතැයි ගොවිහු විශ්වාසය පලකරති.
‘උදේ පාන්දර පහේ ඉදලා හැන්දෑ වෙනකම් මොණරු හැංගිලා ඉදලා වගාවන් විනාශ කරනවා. වැල් පිටින් සූරන් කනවා. අපි මේ ගැන කියන්න පුලුවන් හැමෝටම කිවා නමුත් වැඩක් නැ. ඒ හින්දයි මාධ්‍යයටත් මේක කියන්නේ.‘ ගොවීන් වැඩිදුරටත් කියාසිටියේ දුක් මහන්සියෙන් වගා කටයුතු සිදුකළ ද වන සතුන්ද සිය වගාවන් පූජා කිරිමට සිදුවීම කනගාටු දායක තත්ත්වයක් බවයි.
මේ තත්ත්වය වටහාගෙන ගොවි සංවිධාන මට්ටමින් හෝ රජයේ මැදිහත්වීම යටතේ සාධාරන මිලකට හෝ ගොවීන්ට වායු රයිෆල් ලබාදීමට කටයුතු කරන ලෙස අඹන ගොවිහු රජයෙන් ඉල්ලීමක් කරති.