(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
කල්තොට නවනැලිය, මොලමුරේදී 20 හැවිරිදි තරුණික ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ ඥාති සහෝදරයෙකු මේ මස 26දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් එම්.එම්.රාෆික් මහතා අද (14) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බළන්ගොඩ, නවනැලිය, රජවක ලිපිනයේ පදිංචි ජයසිංහ ආරච්චිලාගේ චරිත් දිනේෂ් ගුණසිංහ නැමැති 18 හැවිරිදි අයෙකි.
නවනැලිය, මොළමුරේ ලිපිනයේ පදිංචිව සිටි භාග්‍යා සෙව්වන්දි සේනාධීර නැමැති තරුණිය ඝාතනය කිරිම සම්බන්‍ධයෙන් මෙම තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තවත් පුද්ගලයෙක් සමඟ 12 වැනිදා රාත‍්‍රී යතුරු පැදියකින් රජවක දෙස සිට බළන්ගොඩ දෙසට ගමක් කරන අවස්ථාවේ වාහන පරීක්‍ෂා කිරීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කල්තොට පොලීසියට බාරදී තිබුණි.
සැකකාර තරුණයාගෙන් කල්තොට පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම්වලදී භාග්‍යා සෙව්වන්දි තරුණියගේ මරණය සම්බන්‍ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වූ බව බී වාර්තාවක් මගින් පොලීසිය අධිකරණය දැන්වීය.
භාග්‍යා සෙව්වන්දි තරුණිය පසුගිය 11 වැනිදා පෙරවරුවේ නිවසින් අතුරුදන්ව තිබුණි. 12 වැනිදා ඇගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර නිවසට කිලෝමීටර් බාගයක් පමණ දුරින් පිහිටි නවනැලි ඔයේ තිබී හමුවිය. මළ සිරුර හමුවු ස්ථානයේ සුලූ වතුර ප‍්‍රමාණයක් තිබුණ අතර උඩුබැලි අතට තිබු සිරුරේ මුහුණ ජලයෙන් වැසී තිබුණි.
තරුණියගේ මරණය සිදුව ඇත්තේ ගෙලසිර කිරීමෙන් බව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කළේය.
සැකකරුගේ පේ‍්‍රම සම්බන්‍ධයක් බිඳවැටීම නිසා ඇතිවූ අමනාපක් ඝාතනයට හේතුව වන්නට ඇතැයි සැකකෙරේ. තරුණියගේ නිවසේ සිට කිලෝ මීටර් භාගයක් දුරට ඇය කඳවාගෙන ගොස් ඇත්තේ දුරකතන අන්තර්ජාල සංඥා ඇති බව පෙන්වන මුවාවෙන් යැයි මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.