(*** බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපීය නවදිල්ලි කාර්යාලයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියකගේ නමින් පෙනී සිට ඇය දන්නා හඳුනන අයගෙන් වසර හතක පමණ කාලයක සිට රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචනික ලෙස ලබාගත් බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
සැකකරුවන් සමග විශේෂඥ වෛද්‍යවරියගේ නිවෙසේ තිබී සොරාගත් දුරකතන අංක සඳහන් පොතක් හා සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලිකව දුරකතනයට විශේෂඥ වෛද්‍යවරිය කතා කරන අයුරින් කතා කර සුවදුක් විමසා මද වේලාවකින් නැවතත් ඇමතුමක් ගෙන තිබූ මෙම සැකකාරිය “මම ත්‍රිකුණාමලයේ සර්වන්ට්ගේ ගෙදර මළගෙයක් වෙලා යන ගමන්. මට පොඩි මුදල් හදිස්සියක් වුණා. පුළුවන්නම් රුපියල් 15,000ක් එකවුන්ට් එකට දානවද” යනුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සිදුකළ විමර්ශනවලදී මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපති එච්.එල්. දුෂ්මන්ත මහතා ලද දුරකතන පණිවිඩය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත විශේෂඥ වෛද්‍යවරියගේ නිවෙසට කතා කර මෙය කිසියම් වංචනික ක්‍රියාවක් බවට දැනගැනීමෙන් අනතුරුව මුදල් ලබාදෙන මුවාවෙන් උපක්‍රමශීලීව එම කාන්තාව පොලිස් ස්ථානයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර 7 කට පමණ ඉහත දී වෛද්‍යවරියගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බවත්, එම නිවෙසින් ඉවත් වන විට එහි තිබී සොරා ගෙන ආ දුරකතන අංක සඳහන් පොතේ දුරකතන අංකවලට කතා කර මෙලෙස මුදල් ගිණුම් ගත කර ගත් බවත් අනාවරණය වූ බවද ඔහු කීය.
මෙම සැකකාරිය ඒ අයුරින් කොළඹ අවට රෝහල් රැසක වෛද්‍යවරුන්ට මෙන්ම, වෛද්‍යවරියගේ හිතවත් අයට ද දුරකතන ඇමතුම් දී මුදල් වංචා කර ඇති බව ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සැකකාරිය සමග අත්අඩංගුවට ගත් අනෙක් පිරිමි පුද්ගලයා ඇගේ අනියම් සැමියා බවත් පොලිසිය කියයි.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත, උප පොලිස් පරීක්ෂක රුවන් ප්‍රභාත් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.