දෙබර ප්‍රහාරයකින් 6ක් රෝහලේ


 

(නිශාන්ත කුමාර)

 දෙබර ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ  පස්සර වැල්ගොල්ල   ගම්මානයේ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු අද (25) කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයේ පසුවූ    ඉන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වැල්ගොල්ල ගම්මානයේ සිට පොහොර රැගෙන ඒම සඳහා කැන්දගොල්ල ගම්මානය වෙත ත්‍රීවිල් රථයකින් හා යතුරු පැදියකින් පැමිණෙමින් සිටි වයස අවුරුදු  35-57 ත් අතර පිරිසකි.

අබලන් ගුරු පාර ඔස්සේ හෙමින් ධාවනය වෙමින් තිබූ ත්‍රීවීල් රථයට මුලින්ම ඇවිස්සුනු දෙබර රංචුව ප්‍රහාරය එල්ල කර ඇති අතර දෙබර ප්‍රහාරයක් සමග ත්‍රීවීල්  රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී   අනතුරකට ද ලක්ව ඇත.

අනතුරට පත් ත්‍රීවීල්  රථයේ පැමිණි පිරිසට  දෙබර ප්‍රහාරය එල්ල වනු දුටු ගම් වැසියකු ගිනිමැලයක් ගැසීමට තැත් කරද්දී ඔහුට ද බඹරුන් හැට හැත්තෑවක රංචුවක් පහරදී ඇති අතර ඉන් අනතුරුව යතුරු පැදියේ පැමිණි පුද්ගලයෙකු ද මෙම දෙබර ප්‍රහාරයට ලක්ව ඇත.

දෙබර ප්‍රහාරයට ලක් වූ හය දෙනාම   ප්‍රදේශවාසීන් විසින් කැන්දගොල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර මූලික ප්‍රතිකාර වලින් පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනකු එම අවස්ථාවේම  බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු යොදා ඇත