දුරගමන් බස්රථවලට ජංගම පුස්තකාල



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තලපිටිබද්ද මහජන පුස්තකාලය හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව ‘පොතක් සමඟ ගමනක්’ යන තේමාවට අනුව  පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ජංගම පුස්තකාලයක් ස්ථාපනය කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පළේදී අද(21) පැවැත්විණි.
 
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන පානදුර නගරයෙන් ආරම්භ කරන අතර අනෙකුත් දුරගමන් බස්රථවලද ස්ථාපිත කිරීමට නියමිතය.
 
දුරගමන් සේවාවල යෙදෙන මගීන්ට කියවීමේ රුචිය ඇතිකරලීමත්, ගමන් විඩාව නිවාගැනීමත්, මගීන් දැනුමින් පෝෂණය කිරීමත් යන අරමුණු ඇතිව මෙම කටයුත්ත ආරම්භ කළ බව සභාපතිවරයා පැවසීය.
 
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වර්ණා පෙරේරා මහත්මමහත්මීන් ඇතුළු පිරිස බස්රථයේ හිමිකරු වන එච්. ඒ. අයි. පී. පෙරේරා මහතා වෙත පුස්තකාලය සඳහා අවශ්‍ය පොත් බාරදුන්හ.