දුම්රියේ ගැටී එක්දරු පියා මරුට


(සිරංගිකා ලොකුකරවිට)

හබරාදුව, කහවැන්නගම ප්‍රදේශයේ දී බෙලිඅත්තේ සිට කොළඹ දක්වා අද (22) උදෑසන ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ විජේසිරි ගුණවර්ධන සොමිරත්න (67) නැමැති තල්පේ කහවැන්නගම පදිංචි  එක් දරු පියෙකි.

ගාල්ල නගරයේ ව්‍යාපාරිකයකු වන ඔහු සෑම දිනකම උදෑසන 5.00 ට පමණ නිවසින් පිටත්ව නගරයට යන බවත් අද උදෑසන ද සුපුරුදු පරිදි නිවසින් පිටත්ව යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

 දේහය තල්පේ දුම්රිය ස්ථානයට භාර දී එතැනින් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් තිබූ අතර පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යොමුකර තිබිණි.

සිරුර සම්බන්ද මරණ පරීක්ෂණය හබරාදුව දොඩම්පේ හදිසි මරණ පරීක්ෂක එන්.බී.ගීතා චතුරානි මහත්මිය විසින් සිදුකිරීමට නියමිතය.

හබරාදුව පොලිසීය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.