දුම්රිය මැදිරියක් පාදුක්කේදී ගැලවෙයි


(කේ බුද්ධික කුමාරසිරි  )

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක මැදිරියක් පාදුක්ක දිසා රෝහල අසල දුම්රිය හරස් මාර්ගය අසලදී ගැල වී යාම නිසාවෙන් අද (14) උදෑසන කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පැයක පමණ කාළයක් ප‍්‍රමාද වූ බව පාදුක්ක දුම්රිය ස්ථානය පවසයි.

පාදුක්ක දුම්රිය ස්ථානයෙන් අද (14) දින පෙරවරු 7.05 ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය ස්ථානයේ සිට මීටර් 200 ක් යාමටත් පළමුවෙන් මෙලෙස  එක් මැදිරියක් දුම්රියෙන් වෙන් වී ගැල වී ගොස් රෝහල අසල දුම්රිය හරස් මාර්ගයේ නැවතීම නිසාවෙන් ඉංගිරිය  - කොළඹ ප‍්‍රධාන බස් මාර්ගයද එම දුම්රිය හරස් මාර්ගය අසලින් සම්පූර්ණයෙන් අවහිර වී තිබුණි.

මේ හේතුවෙන් ඉංගිරිය - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ විනාඩි 45 ක් පමණ දැඩි රථ වාහන තදබදයක්ද දක්නට ලැබුණි.

පසුව ගැල වී ගිය දුම්රිය මැදිරිය යළි ප‍්‍රධාන දුම්රියට එකතු කර දුම්රිය යථා තත්වයට පත් කිරීමෙන් පසු නැවත ධාවන කටයුතු ආරම්භ කළ බවද පාදුක්ක දුම්රිය ස්ථානයේ ප‍්‍රකාශකයෙකු පැවසීය.