(කේ බුද්ධික කුමාරසිරි)
කැළණි ගගේ නවගමුව මාපිටිගම පාලම අසල දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතුරින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් සිටියදී අද (2) දින උදෑසන නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් සොයා ගෙන ගොඩ ගත් බව නවගමුව පොලිසිය පවසයි.
මිය ගිය එක් තරුණයෙකු රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගොස් එයින් සමත් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහුගේ තවත් මිතුරන් තිදෙනෙකු සමඟ කැළණි ගඟේ මාපිටිගම පාලම අසල මත්පැන් සාදයක් පවත්වා ඇති බවත් එම මත්පැන් සාදය අතරතුර ගගේ දිය නෑම සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.
මෙලෙස සිව් දෙනා වරින් වර මත්පැන් පානය කර දිය නාන අතරතුර දෙදෙනකු ගගේ ගිලි ඇති බවත් ඒ අවස්ථාවේදී ගං ඉවුරේ සිටි අනෙක් මිතුරන් දෙදෙනා දැඩි ලෙස මත්පැන් පානය කිරීම නිසාවෙන් ගං ඉවුරේම නින්ද ගොස් තිබී ඇති බවත් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් අත්තේ රණාල නවගමුව සුදවිලපාර ප්‍රදේශයේ පදිංචි ඇගළුම් කර්මාන්ත ශාලාවක සුපරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ මුණසිංහ ආරච්චිගේ උදිත සංජය මුණසිංහ නමැති 27 හැවිරිදි පුද්ගලයකු සහ ගලේවෙල දකුණු වාසලකෝට්‍ටේ මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පනම්බරගේ සදරංග චිහිරාන් ෆර්නැන්ඩෝ නමැති 19 හැවිරිදි තරුණයෙකි.