දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ සැරසරන අන්ධ අලියකුට ප්‍රතිකාර කිරීම සීගිරිය වනජීවි නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
වෙඩි පහරවල් දහසකට අධික තුවාල සලකුණු සහිත මෙම අලියා පසුගිය දින කිහිපයේ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ, හබරණ, මීගස්වැව, හිරිවඩුන්න, අවුඩන්ගාව යන ප්‍රදේශවල වෙළඳසැල් කඩා දමා එළවළු සහ පලතුරු ආහාරයට ගෙන ජන ජීවිතයට හානි සිදුකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීහු නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූහ.
දින ගණනක් අලියා පළවා හැරීමට උත්සාහ කළ වනජීවි නිලධාරීහු පසුව අලියාව නිර්වින්දනය කර ප්‍රතිකාර කළ අතර ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යන බව ද පැවසූහ.
තුවාල වේදනා හේතුවෙන් මේ අලියා මිනිස් වාසයට පැමිණ ඇති බවත් මිනිසුන් අලිවෙඩි පුපුරවාලීම නිසා අලියාගේ කන් ඇසීම පවා සීමා වී ඇති බවත් වනජීවී නිලධාරීහු කියති.
(කාංචන කුමාර ආරියදාස)