දැරියක අපයෝජනය කළැයි වසර 5කට පසු අත්හිටවු සිරදඬුවම්



(ටෝනි කරුණානායක)

වැලිවේරිය පොලිස් වසමේදි බාල වයස්කාර දැරියක් බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ අපයෝජනය කිරීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩඇතිව වසර 2ක සිර දඬුවම් නියම කළ ගම්පහ අංක 2, මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඊර්සඩින් මහතා එම සිරදඬුවම වසර 10 කට අත්හිටුවන ලෙස අද (31)නියම කළේය.

එක් චෝදනාවකට  රුපියල් 5,000 ක් බැගින් රුපියල් 10,000ක  දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවන්නේ නම් එක් වසරක සිරදඬුවමක් නියම කළේය.

මෙසේ අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම වූයේ 26 හැවිරිදි පුද්ගලයකුටය.

වින්දිත දැරිය එවකට වයස අවුරුදු 15ක් බවත් විත්තිකරුට වයස අවුරුදු 21ක් බවත් එවකට දෙදෙනා පෙම්වතුන් බවත් මහාධිකරණයේදී අනාවරණය විය.

2015 වර්ෂයේ අගෝස්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දී වැලිවේරිය මුදුන්ගොඩ ප්‍රදේශයේ දි දැරිය අපහරණය කර අපයෝජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුට මෙසේ දඩ සහ අත් හිටවු සිරදඬුවම් නියම කෙරිණි. රුපියල් ලක්ෂයක වන්දියක් ද ගෙවීමට නියම කෙරුණි.